• Awesome Blogging Theme!
  • Active Yoga Class

මැදවච්චිය....

උතුරින් වව්නියා දිස්ත්‍රික්කයද,නැගෙනහිරින් කැබිතිගොල්ලෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයද,ගිණිකොනින් කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද,දකුණින් රඹෑව ප්‍රාදේශය ලේකම් කොට්ඨාසය හා වයඹින් මධ්‍යම නුවර ගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යන මායිම් තුල පිහිටි මෙම කොට්ඨාසය ඵෙතිහාසික අනුරාධපුරවරයේ උතුරු මායිම ලෙස සැලකේ. ඵෙතිහාසික වශයෙන් වැදගත් ස්ථාන රැසක් පිහිටා ඇති මෙම කොට්ඨාසය නිසි පුරාව්ද්‍යාත්මක ගවේශනයකට ලක් ව ඇති බවක් නොපෙනේ. මේ නිසාම ඵෙතිහාසික සිදුවීම් රැසක උරුමය කාලයත් සමග වහන් ව ගිය පුරාවෘත්ත රැසක් බවට පත්ව ඇත. දශක 03 කට අධික කාලයක් පැවති යුධමය තත්වය නිසා මෙම කොට්ඨාසයේ සංවර්ධන කටයුතු මෙන් ම සමාජ ආර්ථික තත්වයන් ද පසු බෑමකට ලක්ව ඇතත්,එම තත්වය ධනාත්මක දර්ශනයකින් යථා තත්වයට පත්කිරීම කල හැකිය යන්න අපගේ විශ්වාසය වී ඇත. වර්ග කිලෝමීටර 418.79 ක පැතිර පවතින මෙම කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 37කින් සමන්විත වන අතර ඊට ගම්මාන 104 ක් ඇතුලත්ය. ජනගහනය පනස් දහසකට මදක් වැඩිවන අතර කෘෂිකර්මාන්තය ජීවනෝපාය කර ගත් බහුතරය ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත් වේ. වාරිමාර්ග පද්ධතිය හා කෘෂිකාර්මික කටයුතු මහා වාරිමාර්ග 07කින් හා සුළු හා මධ්‍ය ප්‍රමාණයේ වැව් 309 කින් සමන්විත වාරිමාර්ග පද්ධතිය සඳහා ජලය ලැබෙනුයේ සැප්තැම්බර් මාසයේ සිට ජනවාරි දක්වා ලැබෙන ඊසාන දිග මෝසම් වැසි මගිනි.ඊට අමතරව මේ සඳහා ජලය ලැබෙන ක්‍රමයක් මෙතෙක් ආරම්භ වී නොමැත. ප්‍රදේශයට ලැබෙන වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර ....ක් පමණ වන අතර අවුරුද්දේ වැඩි කාලයක වියළි දේශගුණයක් පවතී. මහ කන්නයේ දී වගා බිම් සියල්ලෙහිම ප්‍රධාන ලෙස වී වගාව සිදු කරන අතර යල කන්නයේ දී වියළි දේශගුණයක් පවතින නිසාත් වාරි ජලය ප්‍රමාණවත් නොවන නිසාත් සීමිත බිම් ප්‍රමාණයක පමණක් වී වගාව කරනු ලැබේ. ඊට අමතරව කන්න දෙකෙහිම උඳු, බඩ ඉරිඟු,ළූණූ වැනි බෝග සහ එළවළු වර්ග වගා කරයි. මේ සඳහා බොහෝ විට කෘෂි ළිං ජලය උපයෝගි කර ගනී. ඓතිහාසික පසුබිම. මෙම කොට්ඨාසයේ තිබෙන විහාරස්ථාන සහ ඇතැම් ප්‍රදේශවල ශේෂව පවතින නටබුන්වලින් ප්‍රදේශයේ ඓතිහාසික වැදගත්කම මැනවින් විද්‍යාමාන වේ. A-9 මාර්ගයේ, මැදවච්චිය නගරයේ සිට උතුරු දෙසට කිලෝමීටර් 02 ක් පමණ දුරින් ප්‍රධාන මාර්ගයට යාබඳව දර්ශනීය ගල්තලාවක් මත පිහිටා ඇති ඉසින්බැස්සගල පුරාණ රුවන්ගිරි රජමහා විහාරය ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයකි. අතීතයේ දී ඍද්ධි බලයෙන් වැඩම කරන ලද ඍෂිවරු මෙම ගල්තලාව මතට බැසීම නිසා එය "ඍෂීන් බැස්ස ගල" ලෙස හඳුන්වා ඇත. පසු කලක දී "ඍෂීන් බැස්ස ගල" යන්න "ඉසින්බැස්සගල" බවට පත්ව ඇත. ඇතමකුගේ විශ්වාසය වී ඇත්තේ අනුබුදු මිහිඳු මාහිමියන් ඇතුළු පිරිස මෙම ගල්තලාවට වැඩම කර මිහින්තලා ප්‍රදේශය නිරීක්ෂණය කොට ඉන් අනතුරුව මිහින්තලාවට වැඩම කළ බවය. මෙය පුරාවෘත්තියක් බවට පත්ව ඇතත් 90 දශකයේ දී රජය විසින් මෙහි කර ඇති ප්‍රතිසංස්කරණ වලින් මෙය සථ්‍යයක් බවට පිළි ගෙන ඇත. කිඩාගලේගම ශ්‍රී දළඳා විහාරය මෙම ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික වැදගත්කමකින් යුතු තවත් සිද්ධස්ථානයකි. ලක් දිවට ශ්‍රී දළදා වහන්සේ වැඩම කර වු හේමමාලා කුමරිය හා දන්ත කුමරු එම ගමනේ දී මෙම විහාරස්ථානයේ එක් දිනක් ගත කල බව සඳහන් වේ.මෙහි ඓතිහාසික නටබුන් අතර ඇති සඳකඩ පහනෙහි කැටයම් දක්නට නොලැබීමෙන් එය අනුරාධපුර මුල් යුගයට අයත් වන බව අනුමාන කල හැක. සෞඛ්‍ය,අධ්‍යාපන හා ආර්ථික පසුබිම. ආර්ථික. ජනගහනයෙන් අති බහුතරය යැපුම් කෘෂිකර්මාන්තය මත පදනම්ව ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත් වන අතර ඔවුන්ගේ ජීවන මට්ටම ප්‍රශස්ථ තත්වයකට පත්ව නැත. ඔවුන්ගේ ආදායම් මට්ටම පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වසර පුරා කෘෂිකාර්මික කටයුතු සිදුකිරීමට ප්‍රමානවත් ජල සැපයුමක් නොමැතිකමය. මෙයට හේතු වී ඇත්තේ පවතින වාරිමාර්ග පද්ධතිය වැසි ජලය මත පමනක් රඳා පැවතීමයි.වසරේ වැඩිකාලයක් පවතින වියලි කාලගුණික තත්වය ද මෙයට තවත් හේතුවක් වී ඇත. සෞඛ්‍ය. මැදවච්චිය නගරයේ ඇති දිස්ත්‍රික් රෝහල කොට්ඨාසයේ ඇති ප්‍රධාන රෝහල වේ. කි.මී.35 කට දුරින් මහ රෝහල් ඇතත් ජනතාවගේ සෞඛ්‍ය තත්වය රැක ගැනීමට මෙම රෝහල ප්‍රමානවත් නැත. එය මුලික රෝහලක් බවට පත්වීම ජනතාවගේ සිහිනයක් බවට පත්ව ඇත. කොට්ඨාසයේ බරපතල සෞඛ්‍ය අනතුරක් බවට පත්ව ඇති වකුගඩු රෝගී තත්වය නිසා මෙම රෝහලේ වකුගඩු ඒකකයක් ස්ථාපිත කල යුතුව ඇත. මෙම රෝගී තත්වයට නිෂ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැතත් , පානීය ජලය එයට හේතුකාරක වී ඇති බව ජනතාව පිළිගෙන ඇති මතය වී ඇත. වසරකට මිය යන සංඛ්‍යාවෙන් වැඩිම පිරිස වකුගඩු රෝගීන් වීම ද විශේෂත්වයකි. රෝග ආසාදනයට ලක්වුවන් ගේ සංඛ්‍යාව ඉහල අගයක් ගන්නා අතර , රෝග ආසාධිත තත්වය හඳුනා නොගත් සංඛ්‍යාව ඊටත් වඩා ඉහල අගයක් ගැනීමට ඉඩ ඇත. අධ්‍යාපන. මැදවචිචිය නගරයේ ඇති මෛත්‍රීපාල සේනානායක ජාතික පාසැල හා තවත් පාසැල් කීපයක් හැරැණු විට අනෙකුත් පාසැල් වල තත්වය තවදුරටත් සංවර්ධනය විය යුතුය. ඒම පාසැල් වල පහසුකම් ප්‍රමානවත් නොවන නමුත් අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන් විශාල ප්‍රමානයක් මෙම පාසැල් වල අධ්‍යාපනය ලබයි. මේ නිසා කොට්ඨාශයේ දරුවන් සැලකිය යුතු ප්‍රමානයකගේ අධ්‍යාපන මට්ටම ප්‍රශස්ථ තත්වයකට පත්ව නැත. දෙමව්පියන් ගේ අඩු ආදායම් තත්වය හා සමාජ මට්ටම ද මෙයට හේතුවක් වී ඇත.
read more →